භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙනයන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින්, නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන ලෙස එම කමිටුව පත් කරන බව මෙහිදී පැවසුවා.
එමෙන්ම සති දෙකක් ඇතුළත මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට දැනුම්දෙන බවත්, එහි භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර, අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.
එසේ නොමැතිව නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබාදීමට තමන් සූදානම් නොමැති බවත්, නීතිය වර්තමානයට උචිත නොවේ නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමියන්ගේ චීවරය ඉවත්කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන්, මහානායක හිමිවරු බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමුකර ඇති ලිපිය සහ මෙම සිදුවීම පාදක කරගනිමින් සමාජයේ ඇතිවී තිබෙන තත්ත්වයත්, මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වුණා.
සිය ආරාධනය අනුව මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී මහා සංඝරත්නය වෙත සිය ගෞරවය පුද කළා.