එයාර්බස් ගනුදෙනුවේ අල්ලස් චෝදනා සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ගොනු කෙරෙන නඩුව සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අල්ලස් කොමිසම තීරණය කර තිබෙනවා.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දුන්නා.
නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම් අදත් ප්‍රතික්ෂේප වූ අතර ඔහු ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී යූරෝ මිලියන 1.4කට අධික මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවතින නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා ඉදිරියේ අද යළි කැඳවනු ලැබුවා.
නඩුවේ සිව්වන සැකකරු වන, රුපියල් මිලියන 100ක් අල්ලස් ලෙස ලබාගත්තැයි චෝදනා එල්ල වී දැනට රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙහිදී අධිකරණයට ඉදිරිපත් කෙරුණා.