/
/
title icon
බෙංගාල බොක්කේ පීඩන අවපාතය නිසා වැසි වැඩිවෙයි
බෙංගාල බොක්කේ පීඩන අවපාතය නිසා වැසි වැඩිවෙයි
News Editor
14 hours ago
Share:
බෙංගාල බොක්කේ පීඩන අවපාතය නිසා වැසි වැඩිවෙයි

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඊයේ (24) රාත්‍රී 11.30 වන විට, එම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.5° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණු බවයි.

මෙම පද්ධතිය අද (25) වන දින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග ප්‍රදේශය හරහා ගමන් කරමින්, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

පද්ධතිය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, හෙට (26) දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් මස 27 වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් බවට තවදුරටත් තීව්‍ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරිදින කිහිපයේ දී අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර, බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 

එම මුහුදු ප්‍රදේශවල දැනටමත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required