එයාර්බස් අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව නොවැම්බර් මස 19 වැනිදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද (28) නියම කළා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුකරය අද ප්රියන්ත ලියනගේ මහතා ප්රමුඛ කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර නාමල් රාජපක්ෂ මහතාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙහිදී දැනුම්දීමක් නොතිබීම හේතුවෙන් පැමිණිල්ල මෙහෙයවන අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නීතිඥවරු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ප්රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.
මෙහිදී ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම නඩුකරයේ පැමිණිල්ල මෙහෙයවන අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම විත්තිකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් සිදුකිරීමට තමන් අපේක්ෂා කරන බවයි.
ඉන් අනතුරුව මෙම නඩුකරය නැවත නොවැම්බර් මස 19 වැනිදා කැඳවීමට නියම කළ අධිකරණය එදින බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියම කළා.
ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, ශමින්ද්ර රාජපක්ෂ, බිස් සොලියුෂන් සමාගම සහ ප්රියංකා නියෝමාලි විජේනායක යන අය මෙහි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.