රට පුරා පසුගිය 17 වැනි දින සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබෙනවා.
අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එදින පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ලබාදෙමින් තිබූ මෙගාවොට් 187ක විදුලි බලයක් මිලි තත්ත්පර 450ක් ඇතුළත පද්ධතියෙන් අහිමි වූ බවයි.
ඒ සමග විදුලි පද්ධතියේ සංඛ්යාතය හර්ට්ස් 48.75 දක්වා වේගයෙන් පහත වැටී ඇති අතර අදාළ සිදුවීම ආරම්භ වී තත්ත්පර 4.1ක් ඇතුළත සමස්ත විදුලි පද්ධතිය බිඳවැටී ඇති බවද අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
විදුලි පද්ධතියේ සංඛ්යාතය පහත වැටෙන අවස්ථාවලදී එහි ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ක්රියාත්මක වන ස්වයංක්රීය විදුලි බර විසන්ධි කිරීමේ ක්රමවේදයේ (Under Frequency Load Shedding – UFLS) අදියර 05ම එම අවස්ථාවේදී ක්රියාත්මක වී ඇති බවද ජාතික පද්ධති ක්රියාකරු සමාගම ලබාදුන් අදාළ වාර්තාවේ සඳහන්.
ඒ අනුව මෙගාවොට් 449.2කට සමාන විදුලියක් විසන්ධි වී ඇති අතර එය බිඳ වැටීමට පෙර පැවැති මෙගාවොට් 1,135ක සමස්ත විදුලි ජනනයෙන් 39.6%කට සමාන බවද අදාළ වාර්තාවේ සඳහන් වනවා.
කෙසේ වුවත් අදාළ සිදුවීමෙන් විදුලි පද්ධතියේ සම්පූර්ණ බිඳ වැටීම වැළැක්වීමට නොහැකි වී ඇති බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ ජනන ඒකකවලට අමතරව වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, සමනලවැව, ලක්ෂපාන සහ තවත් ජල විදුලි බලාගාර කිහිපයක ජනන ඒකකද ආරක්ෂක පද්ධති ක්රියාත්මක වීම හේතුවෙන් අක්රීය වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන්.
විදුලි පද්ධතියේ බිඳ වැටීමෙන් අනතුරුව එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වහා ආරම්භ කිරීමට ජාතික පද්ධති ක්රියාකාරු සමාගම කටයුතු කර ඇති අතර ඒ අනුව සමස්ත සම්ප්රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 05යි මිනිත්තු 15ක කාලයක් ගතවූ බවද එහි සඳහන් කර තිබෙනවා.