අනුරාධපුර රුවන්වැලි මහසෑ පරිශ්‍රය අසල සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට මේ මස 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබෙනවා.
අනුරාධපුර පූජා නගරයේ නව සැලැස්මට විරෝධය පළ කරමින් එය ඉවත් කර ගන්නා ලෙස රජයට බල කරමින් මෙම සත්‍යග්‍රහය පැවැත්වෙනවා.
සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලාට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස මීට පෙර අධිකරණය නිකුත් කළ තාවකාලික තහනම් නියෝගය ඉවත් කරන ලෙස උන්වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමක් සලකාබැලීමෙන් අනතුරුව මෙලෙස නොතීසි නිකුත් කෙරුණා.
එහිදී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරුන් පෙන්වා දී ඇත්තේ, සත්‍යග්‍රහය පැවැත්වෙන්නේ රුවන්වැලිසෑ මළුවේ නොව දන්සැල් භූමියේ බවත්, එමගින් මහජනතාවට කිසිදු බාධාවක් සිදු නොවන බවයි.
පසුගිය 7 වැනිදා පොලීසිය අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන ඇත්තේ අධිකරණය නොමඟ යවමින් බවට ද ඔවුන් චෝදනා කර තිබෙනවා.
කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මල් රත්නායක මහතා සඳහන් කර ඇත්තේ, අදාළ සත්‍යග්‍රහය හේතුවෙන් මහජනතාවට පීඩාවක් ඇතිවන බව විමර්ශනවලදී නිරීක්ෂණය වී ඇති බවයි.
අධිකරණය මීට පෙර ලබාදුන් නියෝගයට ද භික්ෂූන් වහන්සේලා අවනත වී නොමැති බව ඔහු පවසා තිබෙනවා.
එමෙන්ම, එම ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිළිමතලාවේ රේවත සහ දෙණියායේ සෝරත යන හිමිවරුන්ට මෙලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.
මීට පෙර නිකුත් කළ තාවකාලික තහනම් නියෝගයෙන් පුරාවිද්‍යා ස්මාරකවලට හෝ වෙනත් දේපළවලට හානි නොකරන ලෙසත්, රුවන්වැලි මහසෑ පරිශ්‍රයේ ඉදිකර ඇති කූඩාරම් ඉවත් කරගන්නා ලෙසත් භික්ෂූන් වහන්සේලාට නියෝග කර තිබුණා.