දිවයිනට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය ලබන 16 වැනිදා පමණ වනවිට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවට වර්ධනය වීමට හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (15) වනවිට 'පීඩන අවපාතයක්' දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
මෙම අඩුපීඩන කලාපය අද (14) පෙරවරුව වන විට මඩකලපුව සිට කි.මී. 650 ක් පමණ දුරින්, නැගෙනහිර දෙසින් ස්ථානගත වී තිබුණා.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අද පෙරවරු 05.30 සිට උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදෙනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට දිනයේදී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇති.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර සහ වයඹ පළාත් වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන අතර ඌව සහ මධ්‍යම පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.