ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අධිචෝදනා පත්‍ර භාරදීම කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද (19) සිදුකෙරුණා.
අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු සැකකාර නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීමේ නියෝගයක් නිකුත් නොකරන ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළද, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒ මහතා දෙසැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකළ විමර්ශනය අවසානයේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරනු ලැබුවා.
අදාළ ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත් සමස්ත මුදලින් රුපියල් මිලියන 100ක් ලබාගත්තේ යැයි චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පළමු විත්තිකරු ලෙස නම්කර ඇති අතර දෙවන විත්තිකරු ලෙස ශමින්ද්‍ර රාජපක්ෂද, තෙවන විත්තිකරු ලෙස බිස් සොලියුෂන් සමාගම සහ සිව්වන විත්තිකරු ලෙස ප්‍රියංකා නියෝමාලි ද නම්කර තිබුණා.
ඒ අනුව එම නීති කෘත්‍යය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වන සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, තිලකරත්න බණ්ඩාර සහ ධම්මික දිසානායක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
නාමල් රාජපක්ෂ මහතාගේ බිරිද ලිමිණි රාජපක්ෂ මහත්මියද අධිකරණය වෙත පැමිණ සිටියා.
එහිදී දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සෙසු සැකකරුවන් වන ශමින්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රියංකා නියෝමාලි අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
ඒ පිළිබඳ අධිකරණයේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කියා සිටියේ එම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම සඳහා ඉදිරියේදී අවශ්‍ය නෛතික පියවර ගනු ලබන බවයි.
ඒ අනුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙනී සිටි සැකකාර නාමල් රාජපක්ෂට අධිචෝදනා පත්‍ර සහ ඊට අදාළ ඇමිණුම් භාරදීම සිදුකෙරුණා.