කෙතරම් වැඩවර්ජන හා ඉල්ලීම් සිදුකළද අසාධාරණ ඉල්ලීම්වලට මේ මොහොතේ විසඳුම් ලබාදිය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කොළඹ අද පැවති 'අයවැය සහ වැඩකරන ජනතාව’ - වෘත්තීය සමිති නියෝජිත හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
රට හොඳ මූල්‍ය විනයක් සහිතව පාලනය කරන බව පැවසූ ජනාධිපතිවරයා, ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 6,230ක් වන අතර වැටුප්, ණය වාරික ඇතුළු වියදම් රුපියල් බිලියන 7,035ක් බව සඳහන් කළා.
ඒ අනුව උපයන මුදල වැටුප් සහ ණය ගෙවීමට පවා ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා රුපියල් බිලියන 805ක් ණයට ගැනීමට සිදුවන බවද ජනාධිපතිවරයා පැවසුවා.
යම් වියදමක් වැඩි කිරීමට නම් ණය ගැනීමට හෝ වෙනත් වියදමක් කප්පාදු කිරීමට සිදුවන බවත්, රුපියල් බිලියන 2,000ක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
එදා වේල පිරිමසාගන්නා ආර්ථිකයක් නොව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම ආණ්ඩුවේ අපේක්ෂාව බවද ඔහු පැවසුවා.
උපයන විට ගෙවන බදු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ රුපියල් 162,500ක මාසික ආදායම ඉක්මවූ විට බදු අය කෙරෙන බවත්, රුපියල් 433,000ක වැටුපක් ලබන පුද්ගලයෙකු 36%ක බදු අනුපාතයකට යටත් වන බවයි.
එම බදු සීමාව ඉදිරි අයවැයෙන් තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත්, එය රුපියල් ලක්ෂ 5 දක්වා ගෙන ඒම ආණ්ඩුවේ අරමුණ බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු, ලංකා ඉතිහාසයේ මීට පෙර සිදු නොවූ ආකාරයෙන් මූලික වැටුප් වැඩිකිරීම් සිදුකර ඇති බව පැවසුවා.
ඒ අනුව ආරම්භක වෛද්‍ය වැටුප රුපියල් 54,290 සිට 2027 ජනවාරි වනවිට රුපියල් 94,150 දක්වා ඉහළ යන බවත්, පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුගේ වැටුප රුපියල් 58,000 සිට රුපියල් 103,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කළා.
වැඩවර්ජන හා උද්ඝෝෂණ සිදුකර ඉල්ලීම් දිනාගත හැකි බව ඇතැමුන් සිතන නමුත් එසේ ඉල්ලීම් ඉදිරිපත් කළ පමණින් ඒවා ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියා.
"කෑගහන්න කලින් අපි ප්‍රශ්න විසඳනවා. විසඳුම් දෙන්න බැරි ඒවාට විසඳුම් දෙන්න බැහැ. ඒක තමයි ඇත්ත කතාව" යනුවෙන්ද ඔහු සඳහන් කළා.